පෙනලපි දැල - තේජ නෙත්මිණ | 2025 බස්නාහිර පළාත් යොවුන් ලේඛක තරගාවලියේ සිංහල කෙටි කතා අංශයේ ප්‍රථම ස්ථානය
ක්ලෙයාර් එම ඩයරිය සොයාගත්තේ, ඇගේ ජීවිතයේ බොහෝ දෑ ඇයට හමුවූ ආකාරයටම කිසිසේත්ම නොසිතූ විරූ ලෙස, ඇය හාත්පසින්ම වෙනත් යමක් සොයමින් සිටියදීය.
ඇය ඒ වන විට සොයමින් සිටියේ ඔවුන්ගේ ශීතකරණයේ වගකීම් සහතිකයයි. පැය කිහිපයකට වරක් මරණාසන්න සත්ත්වයෙකුගේ විලාපයක් වැනි බිහිසුණු හඬක් ඔවුන්ගේ ශීතකරණයෙන් නැගීමට පටන් ගෙන තිබිණි. ඩේවිඩ්, ඔහුගේ සුපුරුදු විලාසයෙන්ම, “ඕක ඔයිටත් වඩා නරක අතර හැරෙයිද කියල තව ටිකක් බලං ඉමු“ යැයි ක්ලෙයාර්ට පවසා තිබිණි. ඩේවිඩ් හැමවිටම සිතුවේ ඉක්මන් ක්‍රියා මාර්ගයක් ගැනීමට වඩා ගැටලුව අධ්‍යනය කරමින් බලා සිටීම නුවණට හුරු බවයි. ඔවුන්ගේ විවාහය ඇතුළුව බොහෝ ගැටලුවලට ඔහුගේ විසඳුම වූයේ එයයි.
ඇය ලිපිගොනු අල්මාරියෙන් එළියට ගත් දුඹුරු පැහැ ලිපි කවරයේ, ලොකු අකුරින් (Insurance & Misc.) යනුවෙන් ලේබලයක් අලවා තිබුණි. එහි ඇතුළත තිබූ යල් පැන ගිය ගෘහස්ථ රක්ෂණ ඔප්පු තොගයකට යටින්, ඇයට ඇගේම අත් අකුරු වලින්, මාස තුනක් වැනි කාලයක් ඇතුලත ක්‍රියාත්මක කිරීමට හැකි අයුරින් ලියැවී තිබුණු අමුතුම සැලැස්මක් සහිත ඩයරියක් හමු විය.
"1 වන සතිය: හවසට ඇවිදින්න පටන් ගන්න.
3 වන සතිය: ඔලුව කැක්කුමයි ඉන්සොම්නියා ගැනයි හොයන්න.
6 වන සතිය: ලයිබ්‍රරියෙ කම්පියුටර් එකෙන් ඩිවෝස් ලෝයර්ස්ලා ගැන බලන්න.
8 වන සතිය: අලුත් බෑන්ක් අකවුන්ට් එකක් අරින්න."
මේ පිටු දෙස ඇය බලා සිටියේ ග්‍රීක් ජාතිකයෙකු චීන භාෂාවෙන් ලියැවී ඇති සන්න්සක් දෙස බලන ආකාරයේ තියුණු ව්‍යාකූල මුහුණකිනි. එහෙත් ඒ සෑම වචනයක්ම තමාගේ අතින් ලියවුණු ඒවා බවට ඇයට සැකයක් නොවීය. ඩයරියේ පිටු වේගයෙන් පෙරළගෙන ගිය ඇයගේ අතට, පිටු ඝනකම සාමාන්‍යය කොපි පොතකට වඩා වැඩි බවත්, පිටුවල වයනය, මහත් ආයාසයකින් ඔප දැමූ ඔබ්සිඩියන් පාෂාණයක් මෙන් සුමට බවත් දැනිණ. මේ ඩයරිය සාමන්‍ය ඩයරියකට වඩා මිල අධික බව උපකල්පනය කිරීමට ඇයට එම සංලක්ෂ්‍ය දෙක පමණක් ප්‍රමාණවත් විය. කාර්යාල උපකරණ වෙළඳසැලෙන් මෙම විශේෂ ඩයරිය තමා මිලදී ගත් බවත්, එය අපරික්ෂාකාරීව නොයෙක් දේවල් ලිවීමට තරම් හොඳ වැඩි යැයි සිතූ බවත් ඇයට මතකය. එහෙත් ඇයට තවමත් මතක නැත්තේ, ඇය මේ ඩයරියේ අන්තර්ගත දේවල් ලීවේ කවදාද යන්නයි.
ශීතකරණය යළිත් වරක් සිය මරණාසන්න හඬ නිකුත් කළේය.
"පැටියෝ?“ ඩේවිඩ් විසිත්ත කාමරයේ සිට කතා කළේය. “ඔයාට හම්බවුණාද අරක?"
"තාම නෑ බබා." ඇය පෙරළා කීවේ හුරුපුරුදු ස්ථාවර හඬකිනි.
ඇය එම ඩයරිය දිගටම කියවූවාය. එහි ලියවී තිබූ සැලසුම ඉතා ක්‍රමානුකූල බවත් එය බොහෝ දුරට සාධ්‍ය බවත් ඇයට පෙනිණ. සැලැස්මේ සෑම පියවරක්ම, පෙර පියවර මත පදනම් ව තාර්කිකව ගොඩනැගී තිබූ අතර ඇය කලකට පෙර තිරරචන ඩිප්ලෝමාවෙන් ඉගෙන ගෙන තිබූ "ආඛ්‍යාන නිර්මාණ ශිල්පය" ලෙස හැඳින්වූ කතා නිර්මාණ මොඩියුලය, තමා අතින් අසිහියෙන් හෝ මෙම සැලැස්ම ගොඩනැගීම සදහා නිවැරදිව භාවිතා වී ඇති බව දැක ඇයට සිනහවක් ද නැගිණි.
"10 වන සතිය: තෙරපි යන්න පටන් ගන්න (ස්ටේරස් තිබ්බා කියල එවිඩන්ස් තියෙන්න ඕන නිසා).
12 වන සතිය: ඉන්සොම්නියා වලට බෙහෙත් ගන්න දොස්තර මාර්ටිනෙස් ගෙන්.
14 වන සතිය: ඩිවෝස් එක ෆයිල් කරන්න."
මේ ප්‍රධාන සැලසුමට අමතරව වෙනත් පාටක පෑනකින්, වෙනත් මානසිකත්වයකින් පිටු අයින් වල කඩිමුඩියෙ ලියූ "එයා විරුද්ධ වුණොත්?", "දේපළ අයිතිය ගැන මොකද කරන්නේ?" සහ, අවසන් පිටුවේ පතුලෙහිම, ඉතා කුඩා අකුරින් "ඇත්තටම මම මේක කරන්නම ඕනද?" වැනි සටහන් ද එහි විය.
ක්ලෙයාර් ඩයරිය ලිපිකවරය තුලට දමා වසා එය තිබූ තැනින්ම තැබුවාය. ශීතකරණයේ වගකීම් සහතිකය ඇයට ඊළඟ ලිපි කවරයේ ඉහලින්ම තිබී හමුවිය.
එදින සවස, රාත්‍රී ආහාරයෙන් පසු ඇයට ඇවිදීමට අවශ්‍ය බව ඇය ඩේවිඩ්ට පැවසුවාය. "මගේ හෙල්ද් එකට අනේ" ඇය කීවේ, තමාට කිසිදු ශාරීරික සෞඛ්‍ය ගැටලුවක් නැති බව දැන දැනමය. ඔහු සිය දුරකතනයේ කියවමින් තිබු ලිපියේ කිමිදෙමින් නොසැලකිලිමත්ව හිස වැනුවේය.
"හොඳ අදහසක්." ඔහු දුරකථනයෙන් දෑස් ඉවත් නොකර, ඈ දෙස යන්තමින්වත් හෝ නොබලාම කීවේය.
ඇය ඇගේ ළා දුඹුරු මුසු කහ පැහැති සපත්තු ජෝඩුව පැළඳගෙන ඔවුන්ගේ වීදියේ පදික වේදිකාවේ ඉදිකිරීම් අතරමග නවතා දමා ඇති ස්ථානය දක්වා ඇවිද ගියාය. නගර සැලසුම්කරුවන් අතර ව්‍යාපෘතිය මැදදී ඇති වූ මුදල් පිලිබඳ බහින්බස්වීමක් දුර දිග යෑමත් සමග මෙහි ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නැවතී ඇති බව ඇයට අසන්නට ලැබී තිබිණි. පදික වේදිකාවෙන් ඔබ්බට තිබුණේ යෞවනයන් දුම් පානය කිරීමට රැස්වන හිස් ඉඩමකි.
ක්ලෙයාර් පදික වේදිකාවේ අද්දර තිබූ කෝන් ගස යට බංකුවේ වාඩි වී තමා එම සටහන් ලියූ දිනය මතකයට නගා ගැනීමට උත්සාහ කළාය. මතක ශක්තිය යනු ජපානයේ මෂූ විල මෙන් පිරිසිඳු, පැහැදිලි සහ පතුල පෙනෙන විලක් නම්, තමා එහි අස්සක් මුල්ලක් නෑර වේගයෙන් පිහිනන මැසින්නක් ලෙස පාසල් කාලයේ තමන්ව හඳුන්වාගත් ඇය අද, ඛනිජ තෙල් හා කසල මුසු වූ, සුපෝෂණය වූ, මඩ ගොහොරු ජලාශයක ගමනාන්තය සොයා ගත නොහැකිව අතරමංව සිටින පංකජයෙක් ලෙස හඳුන්වාගත යුතු යැයි අයෙක් පවසන්නේ නම්, දෙවරක් නොසිතම එම පදවි නාමය භාර ගැනීමට රිසි බවක් ඇගේ වීඩා බර සුසුම්ලෑමෙන් පෙනිණ.
ඇය ආපසු නිවසට එන විට ඩේවිඩ් සිටියේ ඇඳේ උඩු බැලි අතට වැතිරී, බොහෝ කලකට පෙර මියගිය ජනාධිපතිවරයෙකුගේ චරිතාපදානයක් කියවමිනි. මියගිය ජනාධිපතිවරු ගැන කියවීම, දෙවන ලෝක යුද්ධය පිළිබඳ වාර්තා චිත්‍රපට නැරඹීම සහ දාම ඝාතකයන්ගේ මනෝවිඥානය පිළිබඳ පොඩ්කාස්ට් වලට සවන් දීම ඩේවිඩ්ගේ ප්‍රියතම විනෝදාංශ වූ අතර ඒවා ක්ලෙයාර්ට වචනයෙන් විස්තර කළ නොහැකි අයුරින් කරදරයක් වී තිබුණි.
"ඊව්නින්ග් වෝක් එක කොහොමද?" ඔහු පොතෙන් හිස නොඔසවාම ඇසුවේය.
"වරදක් නෑ" ඇය කීවාය. "පාර හරිම නිස්කලංකයි."
ඇය දත් මැද ඇඳට විත් ඔහුගේ අසළින් ඇලවූවාය. ඔවුන්ගේ මෙට්ටය මිල අධික එකක් වූ අතර, ඩේවිඩ් විසින් මෙම මෙට්ටය මගින් නිසි ලෙස කොඳු ඇට පෙළේ ඉදියුම සකස් වනවාද යන්න සහ නින්දේ ගුණාත්මකභාවයට මෙම මෙට්ට මාදිලිය බලපාන්නෙ කෙසේද යන්න පිළිබඳ සති ගණනක අධ්‍යයනයකින් පසුව තෝරා ගන්නා ලද්දකි. ඩේවිඩ් විවිධ මාදිලි සංසන්දනය කරමින් පැතුරුම්පත් ද සකස් කර තිබුණි. ඔවුන්ගේ විවාහය ඇතුළුව බොහෝ තීරණවලට ඔහු එළඹුනේ මේ ආකාරයටය. විවාහ වීමට පෙර, ඔවුන්ගේ ජීවන ඉලක්ක ගැලපෙනවා ද, අධ්‍යාපන පසුබිම් සමාන ද සහ නිවසේ නිහඬ සන්ධ්‍යාවන්ට ඇති හවුල් කැමැත්ත පිළිබඳව ඩේවිඩ් උනන්දුවෙන් සලකා බැලූ හැටි ඇයට සිහි විය.
"ඩේවිඩ්..." ඔහු තම වම් අත පැත්තේ තිබු ලාම්පුව නිවා දැමූ පසු ඇය අඳුරේම මිමිණුවාය.
"ම්ම්ම්?"
"ඔයා හිතනවද අපි සතුටින් කියලා?"
ඇති වූයේ නිශ්ශබ්දතාවයකි. ඔහු අන් සියල්ල ගැන සිතන ආකාරයටම, ක්‍රමානුකූලව සහ ඛේමංකරව, ප්‍රශ්නය මුමුණමින් කල්පනා කරන බව ඇයට ඇසිණි.
"මම හිතන්නේ අපි තෘප්තිමත්." ඔහු අවසානයේ කීවේය. "සතුටට වඩා ඒක වැදගත් නැද්ද? සතුට කියන්නේ ක්ෂණික දෙයක්. තෘප්තිමත් බව, සෑහීම කියන්නේ කාලයක් පවතින දෙයක්."
ඔහුගේ ප්‍රාශ්වාස සුසුම්ලෑම් ක්‍රමයෙන් නින්දේ ස්ථාවර රිද්මයට මාරු වූ පසුව ඇය බොහෝ වේලාවක් ක්ෂණික සහ තිරසාර දේ අතරත්, සතුට සහ සෑහීම අතරත්, කෙනෙක් තෝරාගන්නා ජීවිතය සහ කෙනෙක්ව තෝරාගන්නා ජීවිතය අතර වෙනස ගැනත් සිතමින් සංචින්තන සයුරක නිමග්නව සිටියාය.
පසුදා උදෑසන ඇය අවදි වූයේ හිසරදයක් සමඟිනි.
"මට හරියට නින්ද ගියේ නෑ අනේ." උදෑසන ආහාරය අතරතුර ඇය ඩේවිඩ්ට කීවාය. ඔහු සිය ටැබ්ලටයේ යමක් කියවමින් සිටිය අතර ගැඹුරු සහගත සුසුමක් ද ලෑවේය. ඔහු කියවමින් සිටින්නේ ගාසා තීරයේ යුධමය තත්ත්වය පිළිබඳ පුවතක් හෝ කොටස් වෙළඳපොලේ මිල පහළ යාමක් ගැන පුවතක් වන්නට ඇති බව ක්ලෙයාර් අනුමාන කළාය. ඩේවිඩ් පුවත් සහ ඔවැනි පවුල් ජීවිතයට එතරම් නොවැදගත් තොරතුරු පරිභෝජනය කළේ දියවැඩියා රෝගයෙන් පෙළෙන්නෙකු බෙහෙත් ගන්නා ආකාරයට ප්‍රවේශමෙන්, මැනවින්, දිගුකාලීන ප්‍රතිවිපාක කෙරෙහි අවධානය යොමු කරමින් ය.
"හනී ඔයා දොස්තර මාර්ටිනෙස්ව හම්බවෙන්න යන්න එහෙනං." ඔහු යෝජනා කළේය. "නින්ද නොගියේ ස්ටේරස් නිසා වෙන්න පුලුවන්."
ක්ලෙයාර් හිස වනමින් දොස්තර මාර්ටිනෙස්ගේ කාර්යාලයට කතා කිරීමට සිතින් සටහනක් තබා ගත්තාය. නමුත් ඒ සමගම ඇයට ඩේවිඩ් මේ යෝජනා කළ දේ, තමා අර ඩයරියේ ලියා තිබූ සැලැස්මේ කොටසක්ම බවත්, දොස්තරව හමුවීමට යන ගමන තව දුරටත් හොර රහසේ කිරීමට අවශ්‍ය නැති බවත් කල්පනා විය.
සේවා ස්ථානයේ දිවා ආහාර විවේකයේදී ඇය දික්කසාද නීතිඥවරුන් ගැන සෙවීමට පටන් ගත්තාය. ඒ සඳහා පොදු පරිගණකයක් භාවිතා කරන ලෙස ඇය ඩයරියේ ලියා තිබුණේ කුමන හේතුවක් නිසාද යන්න පිළිබඳව ඇයට අදහසක් තිබුණෙ නැති නිසාත්, ජංගම දුරකථනය වඩාත් රහසිගත සහ ආරක්ෂිත බව දැනුණු නිසාත් ඇගේ දුරකථනයම භාවිතා කලාය . "දයානුකම්පිත නියෝජන" සහ "වාසිදායක ප්‍රතිඵල" පොරොන්දු වෙමින් මිල අධික ඇඳුමින් සැරසුණු මැදිවියේ පුද්ගලයන්ගේ වෘත්තීය ඡායාරූප සහිත වෙබ් අඩවි සියල්ලම ඇයට එකම ආකාරයෙන් දිස් විය.
ඇය ඒ වෙබ් අඩවි අතරින් ආයතන තුනක වෙබ් අඩවි සලකුණු කරගත් අතර, පසුව එම සලකුණු මකා දැමුවාය.
එදින සවස ඇය නැවතත් ඇවිදින්නට ගියාය. මෙවර ඇය ගියේ පාසල් ක්‍රීඩා පිටිය සහ ඔවුන් විවාහ වූ පළමු වසරේදී ඉඳ හිට විනෝදය සඳහා දිවා ආහාරය ගැනීමට ආ කුඩා උද්‍යානය පසුකරමින් පෙර දින ගමන් කල දිශාවට විරුද්ධ දිශාවටය. එදින කාලගුණය සෞම්‍ය මාරුතයකට පමණක් සීමා වී තිබුණත්, උද්‍යානයේ තිබූ ඔන්චිල්ලා දෙපසට වැනුණේ නොපෙනෙන හස්තයකින් තල්ලු කරන්නාක් මෙනි.
ඇය ඒ උද්‍යානය අසළ තිබූ බංකුවක වාඩි වී තම සහෝදරියට කතා කළාය.
"ක්ලෙයාර්?" අනපේක්ෂිත දුරකථන ඇමතුම නිසා සාරාගේ හඬ පුදුමය සහ කනස්සල්ල මුසු එකක් විය. "ඔයා හොඳින්ද?"
"මම හොඳින්." ක්ලෙයාර් නිතැතින්ම කීවාය. "ම්ම්ම් ඔයාට මතකද මම මගේ වෙඩින් එක ප්ලෑන් කරද්දි මට හරි හමං තීරණයක් ගන්න බැරුව ඔයාට අඬ අඬා කෝල් කරපු හැටි?"
නිහඬතාවයකි. "ක්ලෙයාර් ඔයා කවදාවත් ඔයාගෙ වෙඩින් එක ගැන මට අඬ අඬා කෝල් කළේ නෑ. ඔයා තමයි මම දැකපු සන්සුන්ම මනමාලි."
සාරාගේ ඒ සන්සුන්, සරල වදන් පෙළ ක්ලෙයාර්ට, නිහඬ එහෙත් වඩාත් විනාශකාරී රළ පහරක් විය. මංමුලා වී සොයමින් සිටි මතකයන් මතින් ගොඩනැගූ වැලි මාලිගයක්, ඒ රළ පහර වැදී ඒ තුළටම කඩා වැටුනාක් මෙන් ඇයට දැනිණි. ගෙවී ගිය දිනය පුරා ඉතා පරිස්සමින් තමා සහ ඩේවිඩ් පිළිබඳව ගොඩනගාගෙන සිටි මුළු හිතලුවම දූවිලි බවට පත්වී විසිරී යද්දී, ක්ලෙයාර්ට කොතරම් බලවත් හිසරදයක් දැනුනිද යත්, ඇය තමාටත් නොදැනීම බංකුවේ කොන තදින් අල්ලා ගත්තාය. සාරාගේ ප්‍රකාශයෙන් පසු ඇයට ඉතිරි වූයේ සිදුවීම් සියල්ල පිලිබඳ පැහැදිලි බවක් නොව, නිරුවත්, භයංකාර හිස් අවකාශයකි. තමාට කියා නිශ්චිත කතාවක් නොමැති බව ඔප්පු වූ, හදවත සීතල කරවන දරුණු අවබෝධයකි.
"ආහ් එහෙනං කමක් නෑ." ඇය කීවාය. "මම හිතන්නෙ මට ඔක්කොම පැටලිලා තියෙන්නෙ."
ඇය ගෙදර එන විට ඩේවිඩ් රාත්‍රී ආහාරය පිළියෙල කරමින් සිටියේය. මරිනාරා සෝස් සමඟ පැස්ටා ඔහු සෑම අඟහරුවාදා දිනකම සාදන එකම ආහාරය විය. මන්ද, පුනර්වර්තී චර්යාව ආහාර දිරවීමට හොඳ බව ඔහු විද්‍යා ජර්නලයක කියවා තිබූ බැවිනි. ඇය ඇතුළු වන විට ඔහු හිස ඔසවා බැලූ අතර, මොහොතකට ඇය ඔහුව පැහැදිලිව දුටුවාය. ඩේවිඩ් කිසි විටෙකත් ඇයට වික්‍රමාන්විත අත්දැකීම් හෝ විශාල පොරොන්දු නොදුන් අතර, ස්ථාවරත්වය සහ හවුල්කාරිත්වය පමණක් පොරොන්දු වූ කාරුණික මිනිසෙකි. ඔහු ඇගේ ප්‍රියතම යෝගට් මිලදී ගැනීමට තම අතේ තිබූ අවසාන මුදලත් දෙවරක් නොසිතා වියදම් කළ, කිසි විටෙකත් ඉඳුල් පිඟන් සින්ක් එකේ ඉතිරි නොකළ, එක් වරක් ඩේවිඩ්ගේ ප්‍රියතම ආහාරයක් වන 'ඉස්සෝ' ඇයට විෂ වූ පසු කිසිදු ප්‍රශ්නයක් නොඅසා නැවත ඒවා මිල දී නොගත්, කිසිදු කෘතඥතාවක් අපේක්ෂා නොකරන මිනිසෙකි.
"අද වෝක් එක කොහොමද?" ඔහු ඇසුවේය.
"හොඳයි." ඇය කීවාය. "මම උද්‍යානේ පැත්තට ගියේ අද."
"අපි ඉස්සර පික්නික් ගිය තැනටද?"
"ඔව්."
ඔහු සිනාසුණු අතර, සති ගණනකින් ඇය ඔහු සිනාසෙනු දුටු පළමු අවස්ථාව එය බව ඇයට වැටහුණි.
එදින රාත්‍රියේ ඇය තමා අති විශාල ලිපිගොනු කබඩ් එකක් තුළ සිටින සිහිනයක් දුටුවාය. ඇගේ දෘෂ්ටියෙන් ඔබ්බට විහිදුණු ෆෝල්ඩරවලින් ඇය වටවී සිටියාය. සෑම ෆෝල්ඩරයකම ඇගේ ජීවිතයේ විවිධ අනුවාද ලේබල් කර තිබුණි. ඒ අතරින් "කලාකාරිනී ක්ලෙයාර්", "මවක් වූ ක්ලෙයාර්", "ලෝක සංචාරිකා ක්ලෙයාර්", "ඩේවිඩ් සමඟ කිසිදා විවාහ නොවූ ක්ලෙයාර්" වැනි ෆෝල්ඩර් ඇයට ඉස්මතු වී පෙනිණි. ඇය ෆෝල්ඩරයෙන් ෆෝල්ඩරය විවෘත කළ නමුත් එකම එකක් හැර ඉතිරි සියල්ලම හිස්ව තිබිණි. එහි තිබුණේ ඇගේම අත් අකුරින් ලියැවුණු තනි කොළ කැබැල්ලක් පමණි. "ඔබ තෝරාගත්තේ මෙයයි."
ඇය අවදි වූයේ මුහුණේ කඳුළු සමඟිනි. නමුත් ඇයට හැඬූ බවට මතකයක් නොවීය.
නාන කාමරයේදී ඇය කණ්ණාඩියෙන් තම රූපය අධ්‍යයනය කළාය. වයස අවුරුදු තිස් හතරක් වූ ඇගේ කන දෙපස හිසකෙස් අළු පැහැ ගැන්වීමට පටන් ගෙන තිබුණි. ප්‍රවේශමෙන්, කල්පනාකාරීව, අනවශ්‍ය අවදානම් නොගෙන ජීවත් වූ කෙනෙකු ලෙස උපකල්පනය කළ හැකි පෙනුමක් ඇයට තිබුණි.
ඇයට කණ්ණාඩි ප්‍රතිභිම්බයෙන් ඇයව ඩේවිඩ්ගේ බිරිඳ මෙන් දිස් විය.
ඇය නැවත ඇඳට එන විට ඩේවිඩ් එක් වැලමිටකට බර දී, ඇය දෙස කියවිය නොහැකි ඉරියව්වකින් බලා අවදියෙන් සිටියේය.
"නරක හීනයක්වත් දැක්කද?" ඔහු ඇසුවේය.
"අනේ මන්දා මට මතක නෑ" ඇය දෙවරක් නොසිතා කීවත් එය සත්‍යයක් මෙන්ම අසත්‍යයක්ද විය.
"ක්ලෙයාර්" ඔහු ඇයට කතා කළ අතර, ඔහුගේ කටහඬේ වූ යම භාරයක් නිසා ඇය සම්පූර්ණයෙන්ම ඔහු දෙසට හැරුණාය. "ඔයා ඊයේ බලපු ෆෝල්ඩර් එක. අර ඔයාගෙ ඩයරිය තිබුණු එක."
ඇයට ඇගේ හුස්ම හිර වෙනවාක් මෙන් දැනිණ. "මො- මොන ෆෝල්ඩර් එකද?"
"මම දන්නවා ඔයා ඒක හොයාගත්තා කියලා." ඔහු මෘදු ලෙස කීවේය. "මම තමයි ඒක එතන තිබ්බේ."
කිසියම් අධිස්වාභාවික හේතුවක් නිසා ඔවුන්ගේ නිවස සහ අවට වට පිටාව ඇද වෙමින්, ඇල වෙමින් නැවත පෙර තිබූ තත්ත්වයට පත් වෙනවාක් මෙන් ඇයට පෙනිණ.
"මොකක්?"
"ඔයා සමහර වෙලාවට ඔය වගේ ඒවා ලියනවා." ඩේවිඩ් කීවේය. "ගෙදරින් යන්න සැලසුම්, ඩිවෝස් වෙන්න හේතු ඔය වගේ ඒවා. පස්සේ ඒවා තැන් තැන්වල හංගලා ඔයාටම අමතක වෙනවා. ඊට පස්සෙ ඔයාට ඒවා අහම්බෙන් හම්බෙලා කලබල වෙනවා. අවුරුදු දෙකක් විතර තිස්සෙ මේ ටික ඔහොම්ම වෙනවා."
ඇය ඔහු දෙස බලා සිටියේ දෙවි කෙනෙකු දුටු අදෛවවාදියෙකු මෙන් කලබලයෙන් සහ දෑස් අදහාගත නොහැකිව තොරතුරු සැකසීමට උත්සාහ කරමිනි.
"දොස්තර මාර්ටිනෙස්ට අනුව ඔයාට තියෙන්නෙ ඇන්ටෙරොග්‍රෙඩ් ඇම්නීසියා කියල තත්ත්වයක්." ඔහු තවදුරටත් කීවේය. "ඒ කොන්ඩිශන් එකත් එක්කම ඔයාට නොලැබුණ, නොවිඳපු ජීවිතය ගැන ඔයා හදාගත්තු කොපින් මෙකනිසම් එහෙකුත් මික්ස් වෙලා තියෙනවා ලු."
"ඔයා දොස්තර මාර්ටිනෙස් එක්ක මං ගැන කතා කරලා තියෙනවද?"
"නෑ. අපි දෙන්නම දොස්තර මාර්ටිනෙස් එක්ක කතා කළේ 'අපි' ගැන." ඩේවිඩ් නිවැරදි කළේය.
"දෙන්නම එකට ඉදං. දැන් ඔයාට ඒ ඇපොයින්ට්මන්ට්ස් මතක නැතුව ඇති."
"මට මොකක්ද වෙලා තියෙන්නෙ?"
"හනී ඔයාට මුකුත් වෙලා නෑ." ඩේවිඩ් කී අතර ඔහුගේ කටහඬේ, මීට පෙර මෙම සංවාදයම අවස්ථා ගණනාවක් තුළ කර ඇති කෙනෙකුගෙන් නැගෙන ආවේණික ධ්වනියක් විය. "ඔයා... ඔයා හිරවෙලා ඉන්නේ ඔයාට දැන් තියෙන ජීවිතෙයි, ඔයාට තියෙන්න ඕන කියලා ඔයා හිතන ජීවිතෙයි අතර. දොස්තර මාර්ටිනෙස් කියන්නෙ ඕක මිනිස්සු හිතනවට වඩා සාමාන්‍ය දෙයක් කියල."
ඇය කතා කිරීමට අවශ්‍ය වූවත් ඇගේ මුවින් පිට වීමට නියමිත වචන හිස් බව ඇයට දැනුණි.
"ආහ් ඔලුව කැක්කුමයි." ඇය ඒ වෙනුවට කීවාය.
“ඕක ඔයාගෙ බෙහෙත්වල අතුරු ආබාධයක්“ ඩේවිඩ් තහවුරු කළේය. "ඔයා දොස්තර මාර්ටිනෙස්ගෙන් නින්ද යන්න බෙහෙත් ගත්තා. ඔයා කිව්වා ඔයාගෙ මේ ඩිවෝස් ප්ලෑන් වැඩේ නිසා ඔයාට නින්ද යන්නෙ නෑ කියලා."
ඔවුන් මිනිත්තු කිහිපයක් නිහඬව වැතිර සිටියහ. පිටතින්, ක්ලෙයාර්ට ඇය කිසිදා නොගිය සහ බොහෝ විට කිසිදා නොයන තැන්වලට මිනිසුන් රැගෙන යමින් තිබූ දුම්රියක හඬ ඇසුණි.
"ඔයාට ඇත්තටම ඩිවෝස් වෙන්න ඕනද?" ඩේවිඩ් අවසානයේ ඇසුවේය.
ක්ලෙයාර් දෑස් පියාගෙන ඔහු නොමැතිව තම ජීවිතය සිතින් මවා ගැනීමට උත්සාහ කළාය. ඇය කුඩා මහල් නිවාසයක, තනිවම රාත්‍රී ආහාරය ගනිමින්, නිශ්ශබ්දතාවය පිරුණ ගෙදරකට එනු දුටුවාය. හදිසි තීරණ ගැනීමට, ඕනම තැනක සංචාරය කිරීමට, ප්‍රමාද වී පැමිණීම පිළිබඳව පැහැදිලි කිරීම් අනවශ්‍ය වූ නිදහස් ජීවිතයක් දුටුවාය.
ඇය මේ වන විටත් සිටින තරමටම තනිකමෙන්, එහෙත් ඒ ගැන දොස් පැවරීමට තමා හැර වෙන කිසිවෙකුත් නොමැතිව සිටින ආකාරයද දුටුවාය.
"මම දන්නෙ නෑ." ඇය කීවාය. මාස ගණනකින්, සමහරවිට වසර ගණනකින් ඇය කෙනෙක්ට දුන් වඩාත්ම අවංක පිළිතුර එය විය හැක.
"හ්ම්." ඩේවිඩ් කීවේය. "සමහර ප්‍රශ්න වලට උත්තර නොදැන ඉන්න එකත් එක අතකට හොඳයි."
ඔහු අත දිගු කර ඇගේ අත අල්ලා ගත් අතර, එම ඉඟිය සැනසීමක්ද ග්‍රහණයක්ද යන්න තීරණය කළ නොහැකි වුවද, ඇය ඔහුට ඉඩ දුන්නාය.
පසු දින උදෑසන, ඇය මෙම සංවාදය පිළිබඳ කිසිදු මතකයක් නොමැතිව අවදි වනු ඇත. ඇය කෝපි සහ ටෝස්ට් සාදනු ඇත, ඩේවිඩ් ඔහුගේ දුරකතනයෙන් කාලගුණ අනාවැකිය කියවමින් සිටිනු ඇත, එදින සවස ඇය නැවතත් ඇවිදින්නට යන බව ඔහුට කියනු ඇත. ශීතකරණයේ විලාප ශබ්දය මෙන්, හිරු උදාව මෙන් විශ්වාසදායක, ස්ථාවර සහ පුරෝකථනය කළ හැකි ඇගේ චර්යාව දිගටම පවතිනු ඇත.
නමුත් දැනට, අඳුරේ ඔහුගේ අත අල්ලාගෙන, ඇය, ඇයට අවශ්‍ය ජීවිතය තෝරා ගැනීම සහ ඇගේ දැන් ජීවිතය ඇයව තෝරා ගැනීම අතර වෙනස ඇය සිතූ තරම් වැදගත්ද යන්න කල්පනා කළාය.
ශීතකරණය යළිත් විලාප හඬ නැගුවේය, ඔවුන් දෙදෙනාගෙන් කිසිවෙකු එය පරීක්ෂා කිරීමට නැගිට්ටේ නැත.
නිමි.
Comments
Post a Comment